දශක ගණනාවක් පුරා බටහිර ලෝකය සමඟ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ කළ ඉරාන දේශපාලනයේ ප්‍රායෝගිකවාදී මුහුණුවර ලෙස සැලකෙන අලි ලාරිජානි, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු දැඩි යුදවාදී ස්වරූපයක් ගෙන තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් තම නායකයා සහ විප්ලවීය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා අහිමි වීමෙන් පැය 24ක් ගතවීමටත් මත්තෙන් රූපවාහිනිය හමුවේ පෙනී සිටි ලාරිජානි අවධාරණය කළේ, අමෙරිකාව සහ සියොන්වාදී පාලනය ඉරාන ජාතියේ හදවත් ගිනිබත් කර ඇති බැවින් ඔවුන්ට එම ක්‍රියාවන් පිළිබඳව දැඩි ලෙස පසුතැවීමට සලස්වන බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ උගුලකට හසුවී ඇති බවට චෝදනා කරන 67 හැවිරිදි ලාරිජානි, මේ වන විට ඉරානය මුහුණ දෙන බරපතළම අර්බුදයේදී රට මෙහෙයවීමේ ප්‍රධාන වගකීමක් සහිත සංක්‍රාන්ති පාලන මණ්ඩලයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරමින් ලෝක බලවතුන්ට එරෙහිව සෘජු ප්‍රහාරාත්මක ස්ථාවරයකට අවතීර්ණ වී සිටී.














