ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය වසර ගණනාවක සිට ඉතා සූක්ෂ්ම බුද්ධි තොරතුරු මෙහෙයුමක් දියත් කර තිබූ බව ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරයි. මෙම මෙහෙයුමේ වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ ටෙහෙරාන් අගනුවර පිහිටි සියලුම රථවාහන පාලක කැමරා (Traffic Cameras) වසර ගණනාවක සිට ඊශ්‍රායල බුද්ධි අංශ විසින් රහසිගතව පාලනය කර තිබීමයි.
ටෙහෙරාන් නුවර මාර්ගවල සවිකර තිබූ කැමරා හැක් කිරීම හරහා උත්තරීතර නායකයාගේ ආරක්ෂක නිලධාරීන්ගේ දෛනික චර්යාවන්, ඔවුන් සිය පෞද්ගලික රථවාහන නවත්වන ස්ථාන සහ නායකයා ගමන් කරන රහසිගත මාර්ග පිළිබඳව වසර ගණනාවක දත්ත රැස් කිරීමට ඊශ්‍රායල බුද්ධි අංශ සමත්ව තිබේ. විශේෂයෙන්ම කමේනි පදිංචිව සිටි අධි-ආරක්ෂිත ‘පැස්ටර්’ (Pasteur) දිස්ත්‍රික්කයට පිවිසෙන සහ පිටවන රථවාහන පිළිබඳව මෙමගින් සමීපව නිරීක්ෂණය කර ඇත.
සෙනසුරාදා දින එල්ල වූ ගුවන් ප්‍රහාරය හුදෙක් ක්ෂණික තීරණයක් නොව, මෙම කැමරා පද්ධති හරහා ලබාගත් තොරතුරු මත නායකයා නිශ්චිතවම සිටින ස්ථානය තහවුරු කරගැනීමෙන් පසු ක්‍රියාත්මක වූවකි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔහු සිය පරිශ්‍රය තුළ සිටින බවත්, ආරක්ෂක අංශවල වෙනස්වීම් සිදුවන ආකාරයත් තත්‍ය කාලීනව (Real-time) නිරීක්ෂණය කිරීමට මෙම හැක් කරන ලද කැමරා පද්ධතිය උපකාරී වී තිබේ.
අයතුල්ලා කමේනිගේ මරණයත් සමඟ ටෙහෙරාන් නුවර වීදිවල දැඩි ශෝකයක් මෙන්ම ඇතැම් පිරිස් ප්‍රීති ඝෝෂා නගන ආකාරය ද දක්නට ලැබෙන බව වාර්තා වේ. කමේනිගේ මරණය ඉරානය විසින් ද තහවුරු කර ඇති අතර, මෙය ඉරාන ඉතිහාසයේ සහ මැදපෙරදිග දේශපාලනයේ දැවැන්තම හැරවුම් ලක්ෂය ලෙස සැලකේ.














