ඉරානය සහ ඇමෙරිකානු හිතවාදී පාර්ශව අතර පවතින ගැටුම් මැදපෙරදිග පුරා ව්‍යාප්ත වෙද්දී, ඉන්දියාවේ මුම්බායි සිට ඩුබායි බලා පියාසර කළ එමිරේට්ස් ගුවන් යානයක් (EK501) අද (මාර්තු 03) අඟහරුවාදා උදෑසන ගුවන් අවකාශය තුළදී අතිශය දුර්ලභ ගණයේ ගුවන් හැසිරවීමකට (Double reverse manoeuvre) ලක්ව තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල (Ballistic missiles) මැඩපැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇත.
ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට සූදානම් වෙමින් තිබූ EK501 යානයට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඉරානයෙන් එල්ල වූ මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා එමිරේට්ස් ගුවන් අවකාශයෙන් පිටත රැඳී සිටින ලෙස යානයට උපදෙස් ලැබී ඇත.
Flightradar24 දත්තවලට අනුව, අදාළ යානය ගුවනේදී දෙවරක් ආපසු හැරෙමින් (Double reverse) ඉතා දුර්ලභ ලෙස ගමන් මාර්ගය වෙනස් කර තිබේ. මෙය සාමාන්‍යයෙන් මගී ගුවන් යානයක් විසින් සිදු නොකරන අතිශය අවදානම් සහගත මෙන්ම දුර්ලභ ක්‍රියාවලියක් ලෙස ගුවන් ක්ෂේත්‍රයේ විශේෂඥයෝ හඳුන්වති. අවසානයේ ආරක්ෂක තත්ත්වය තහවුරු වූ පසු යානය පමාවී ඩුබායි වෙත ගොඩබස්වා ඇත.
මෙම මිසයිල ප්‍රහාරයත් සමඟ ඩුබායි සහ අබුඩාබි ගුවන් තොටුපළවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් කලාපය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වී හෝ ප්‍රමාද වී ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර ගුවන් සේවාවන්ට ද සෘජුව බලපා ඇත.
















