Ozempic සහ Wegovy වැනි බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන GLP-1 කාණ්ඩයේ ඖෂධ මගින් හෘදයාබාධයකට ලක්වූ අයෙකුට ඉන් පසුව ඇතිවිය හැකි මාරාන්තික සංකූලතා වළක්වා ගැනීමට උපකාරී වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. බ්‍රිතාන්‍ය හෘද පදනමේ (British Heart Foundation) මූල්‍ය දායකත්වයෙන් බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) යන ආයතන එක්ව සිදුකළ මෙම පර්යේෂණයට අනුව, හෘදයාබාධයකින් පසු රුධිර නාල විවෘත කළද හදවතේ ඉතා කුඩා රුධිර නාලවලට රුධිරය ගලා නොයාමේ සංකූලතාව (no-reflow) පාලනය කිරීමට මෙම ඖෂධවලට හැකියාව පවතී. හෘදයාබාධයකට ලක්වන රෝගීන්ගෙන් අඩකට පමණ බලපාන මෙම තත්ත්වය, ඔවුන් නැවත රෝහල් ගත කිරීමට හෝ මිය යාමට ප්‍රධාන හේතුවක් වන අතර මෙම නව සොයා ගැනීම එම අවදානම අවම කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත.
පර්යේෂණයේ ප්‍රධාන කතෘ ආචාර්ය ස්වෙට්ලානා මැස්ටිට්ස්කායා (Dr. Svetlana Mastitskaya) පවසන පරිදි, මෙම ඖෂධවල ප්‍රතිඵල කෙතරම් දිරිගන්වන සුළු ද යත්, ඉදිරියේදී ගිලන් රථ සේවකයින්ට පවා රෝගියෙකු රෝහල වෙත රැගෙන යන අතරතුර මෙම ඖෂධය ලබා දීමට හැකි වනු ඇත. හෘදයාබාධයක් හෝ ආඝාතයක් ඇතිවීමේ අවදානම අඩු කිරීමට මෙම ඖෂධ සමත් බව මින් පෙර දැන සිටියද, හෘදයාබාධයකින් පසු ඇතිවන පටක හානි වැළැක්වීම සඳහා එය යොදාගත හැකි බව සොයාගත් පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත්, මෙම පර්යේෂණය දැනට සතුන් ඇසුරින් සිදුකර ඇති අතර, මිනිසුන් සඳහා භාවිත කිරීමට පෙර සායනික පරීක්ෂණ මගින් එහි සාර්ථකත්වය තවදුරටත් තහවුරු කළ යුතුව තිබේ.
ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ GLP-1 ඖෂධ මගින් බර අඩු කිරීමට අමතරව හෘද සෞඛ්‍යය ඉහළ නැංවීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැවති නොවිසඳුණු ගැටලුවට මෙම අධ්‍යයනය මගින් පැහැදිලි කිරීමක් ලැබෙන බවයි. හදවතේ ඇති ඉතා කුඩා රුධිර නාලවල රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම හරහා හදවතට සිදුවන ස්ථිර හානිය අවම කිරීමට මෙමගින් හැකියාව ලැබේ. මෙම ඖෂධ ක්‍රමවේදය සායනිකව තහවුරු වුවහොත් එය හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වනු නොඅනුමානය.
















