නෙපාලයේ පැරණි දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කළ දැවැන්ත තරුණ විරෝධතාවලින් පසුව එළඹෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 05) පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සමාජ මාධ්‍ය තහනමකට එරෙහිව ආරම්භ වී පසුව දූෂණයට සහ ආර්ථික පරිහානියට එරෙහිව ව්‍යාප්ත වූ ‘Gen Z’ පරපුරේ අරගලය හේතුවෙන් එවකට සිටි 74 හැවිරිදි අගමැති කේ.පී. ෂර්මා ඕලි ඇතුළු පාලන තන්ත්‍රයට ඉල්ලා අස්වීමට සිදු විය. පුද්ගලයින් 77 දෙනෙකුට ජීවිත අහිමි වූ එම අරගලයෙන් පසු නෙපාල කොංග්‍රසය සහ කොමියුනිස්ට් පක්ෂය වැනි ප්‍රධාන දේශපාලන කල්ලිවලට සිය පැවැත්ම තහවුරු කර ගැනීම මේ වන විට බරපතළ අභියෝගයක් වී ඇත.
දශක දෙකක් පුරා නෙපාල දේශපාලනය හසුරුවන මෙම පැරණි පක්ෂ මෙවර මැතිවරණයේදී තමන් වැරදි හදාගෙන ඇති බවත් දූෂණයට එරෙහිව කටයුතු කරන බවත් පවසමින් ජනතාව හමුවට ගියද, තරුණ ක්‍රියාකාරීන් පවසන්නේ එම පොරොන්දු විශ්වාස කළ නොහැකි බවයි. රැප් ගායකයෙකු වන බාලේන් ෂා වැනි විකල්ප දේශපාලන නායකයින් වටා තරුණ ප්‍රජාව ඒකරාශී වෙමින් පවතින අතර, එරට තරුණ පරපුර සිය දේශපාලන තීන්දු ගැනීම සඳහා ඩිස්කෝඩ් (Discord) වැනි නවීන තාක්ෂණික මෙවලම් පවා භාවිතා කිරීම කැපී පෙනේ. මෙම මැතිවරණය නෙපාලයේ සාම්ප්‍රදායික දේශපාලනය මුළුමනින්ම වෙනස් කරන තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
















