කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි (Mark Carney) මහතාගේ සිව්දින නිල ඉන්දීය සංචාරය අතරතුර, ඉන්දියාවේ සිවිල් න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා දිගුකාලීන යුරේනියම් සැපයුම් ගිවිසුමකට එළඹ තිබේ. කැනඩාවේ ‘කැමෙකෝ’ (Cameco) සමාගම විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම කැනඩා විදේශ අමාත්‍ය ඇනිටා ආනන්ඩ් මහත්මිය විසින් හඳුන්වා දුන්නේ දෙරට අතර සබඳතාවල “සුවිශේෂී සන්ධිස්ථානයක්” ලෙසයි.
සස්කැචෙවන් (Saskatchewan) ප්‍රාන්තයේ පිහිටි කැමෙකෝ සමාගම විසින් ඉදිරි වසර 9ක කාලය තුළ ඉන්දියාවට යුරේනියම් ලෝපස් සාන්ද්‍රණය (Uranium ore concentrate) පවුම් මිලියන 22ක් සැපයීමට නියමිතය. මෙම කොන්ත්‍රාත්තුවේ සම්පූර්ණ වටිනාකම කැනේඩියානු ඩොලර් බිලියන 2.6ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 560ක්) පමණ වේ.
මෙම යුරේනියම් සැපයුම 2027 වසරේ සිට ආරම්භ වී 2035 වසර දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතතාව සහ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට මෙය ප්‍රබල ශක්තියක් වනු ඇති බව ඉන්දීය බලධාරීන් පවසති.
මීට පෙර 2015 වසරේදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කැනඩාවේ සංචාරය කළ අවස්ථාවේදී ද මෙවැනිම පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කර තිබුණි. එහෙත් වත්මන් ගිවිසුම පෙර ගිවිසුමට වඩා පස් ගුණයක වටිනාකමකින් සහ දිගු කාලසීමාවකින් යුක්ත වීම විශේෂත්වයකි.
අගමැති මාර්ක් කාර්නි සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් ඉදිරියේ නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් (Hyderabad House) හිදී මෙම ගිවිසුම් හුවමාරු කර ගැනුණි. කැනේඩියානු අගමැතිවරයා ලෙස පත් වූ මාර්ක් කාර්නි මහතාගේ පළමු ඉන්දීය සංචාරය මෙය වන අතර, එමගින් දෙරට අතර මෑතකාලීනව පැවති රාජ්‍ය තාන්ත්‍රික පළුදු වීම් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව පෙනී යයි.














