මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උග්‍ර යුදමය වාතාවරණය හමුවේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව සැපයීමේ පූර්ණ වගකීම රජය භාරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (මාර්තු 03) පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන, විදුලිය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවිය හැකි ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීමට රජය සූදානම් බවත්, ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.
සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය මගපෙන්වීම් සහ මැදිහත්වීම් සිදු කිරීම ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බවත්, කලාපීය සාමය පවත්වා ගැනීමට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අර්බුදය හමුවේ මෙරට ආරක්ෂාව තහවුරු කිරීමටත්, මහජන සාමය පවත්වා ගැනීමටත් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව අද උදෑසන කතානායකවරයා විසින් ද පාර්ලිමේන්තුව දැනුවත් කරනු ලැබීය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සැපයෙන මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ද කටයුතු යොදා ඇත.














