‘Evil Dead’ සිනමා මාලාවේ ඈෂ් විලියම්ස් ලෙස ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ප්‍රවීණ හොරර් සිනමා නළු බෲස් කැම්බල් (Bruce Campbell), තමන්ට සුව කළ නොහැකි එහෙත් පාලනය කළ හැකි (Treatable but not curable) පිළිකා තත්ත්වයක් වැළඳී ඇති බව මාර්තු 2 වනදා නිවේදනය කළේය. 67 හැවිරිදි වියේ පසුවන මෙම දක්ෂ රංගන ශිල්පියා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම පුවත ප්‍රකාශ කරමින් කියා සිටියේ, මෙය තමන්ට මෙන්ම තම හිතවතුන්ට ද විශාල කම්පනයක් වූ බවයි. සෞඛ්‍ය ගැටලු ඇති වූ විට ඒවා ‘අවස්ථාවන්’ ලෙස හැඳින්වීම සාමාන්‍ය දෙයක් බවත්, තමන් ද දැන් එවැනි අවස්ථාවකට මුහුණ දී සිටින බවත් ඔහු හාස්‍ය මුසු ස්වරයකින් සටහන් කර තිබුණි.
පිළිකාවේ ස්වභාවය හෝ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි නොකිරීමට ඔහු තීරණය කර ඇති අතර, මෙම පුවත ප්‍රසිද්ධ කළේ වෘත්තීය කටයුතුවල සිදුවන වෙනස්කම් පිළිබඳව රසිකයන් දැනුවත් කිරීමට බව ඔහු පැවසීය. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ (Conventions) සහ රංගන කටයුතු කිහිපයක් ප්‍රතිකාර සඳහා කාලය ලබා ගැනීම වෙනුවෙන් අවලංගු කිරීමට ඔහුට සිදුව ඇත. කෙසේ වෙතත්, මේ හරහා අනුකම්පාව හෝ උපදෙස් බලාපොරොත්තු නොවන බවත්, වැරදි තොරතුරු සමාජගත වීම වැළැක්වීම තම අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.
මෙම පිළිකා තත්ත්වය මධ්‍යයේ වුවද බෲස් කැම්බල් දැඩි ආත්ම විශ්වාසයකින් පසුවන අතර, ඔහු පවසන්නේ තමන් ශක්තිමත් පුද්ගලයෙකු බවත් පවුලේ අයගේ සහාය ඇතිව තවත් කාලයක් ජීවත් වීමට බලාපොරොත්තු වන බවත්ය. එළඹෙන සරත් සෘතුවේදී සිය නවතම චිත්‍රපටය වන ‘Ernie & Emma’ ප්‍රවර්ධනය කිරීම සඳහා සහභාගී වීමට ඔහු සැලසුම් කර සිටියි. 1981 වසරේ තිරගත වූ ‘The Evil Dead’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු, දශක හතරකට වැඩි කාලයක් පුරා විවිධ චරිත ඔස්සේ රසික හදවත් දිනාගත් අයෙකි.














