ඉරාන අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන්, යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට (Golestan Palace) බරපතළ හානි සිදුව ඇති බව ඉරාන රජයේ මාධ්‍ය තහවුරු කරයි. 16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය ආසන්නයේ පිහිටි අර්ග් චතුරශ්‍රයේ (Arg Square) සිදුවූ ප්‍රබල පිපිරීම්වල කම්පන තරංග හේතුවෙන්, මාලිගය තුළ ඇති මිල කළ නොහැකි කන්නාඩි සහ වීදුරු නිර්මාණ රැසක් බිඳී ගොස් ඇති බව වාර්තා වේ.
ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක් වන මෙම මාලිගයට සිදුව ඇති හානිය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන යුනෙස්කෝ සංවිධානය, ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුදට අවතීර්ණ වී සිටින සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. කජාර් සහ පහ්ලවි රාජවංශයන්හි රාජකීය නිවස ලෙස භාවිත වූ මෙම ඓතිහාසික ස්මාරකය අනතුරේ වැටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ මෙය මනුෂ්‍ය සංහතියටම සිදු වූ බලවත් පාඩුවක් බවයි.














