කොට්ටාව නගර මධ්‍යයේදී අද (මාර්තු 03) දහවල් සිමෙන්ති කොට්ට 450ක් පටවාගත් ලොරියක් පෙරළීමෙන් හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ පැය කිහිපයක් පුරා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මත්තේගොඩ ප්‍රදේශයේ සිට පැමිණි මෙම ලොරිය හෝමාගම දෙසට හැරවීම සඳහා හයිලෙවල් මාර්ගයට යොමු කිරීමේදී මාර්ගය මැද පෙරළී ඇත. ලොරියේ තිබූ අධික බර දකුණු පසට හැරවීමේදී සමබරතාව ගිලිහී යාම අනතුරට හේතුව වන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, ලොරිය පෙරළීමත් සමඟ එහි තිබූ සිමෙන්ති කොට්ට මාර්ගය පුරා විසිරී ගොස් තිබේ. මේ හේතුවෙන් කොට්ටාව නගරය හරහා ධාවනය වන වාහනවලට දැඩි බාධා එල්ල විය.
කොට්ටාව පොලිස් ස්ථානාධිපති රොෂාන් ද සොයිසා මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් වහා මැදිහත් වී වෙනත් ලොරියක් ගෙන්වා විසිරී තිබූ සිමෙන්ති කොට්ට ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට මාර්ගයේ අවහිරතා ඉවත් කර රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.














