ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) විසින් ලෙබනනය තුළට ගොඩබිම් හමුදා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට සහ අතිරේක උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කර ගැනීමට අද (මාර්තු 03) නිල අනුමැතිය ලබා දී ඇත. ඊශ්‍රායලයේ උතුරු දේශසීමා ගම්මානවලට එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කරන පරිදි, ඔවුන් මේ වන විටත් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ‘පෙරමුණේ ආරක්ෂක උපක්‍රමයක්’ (Forward defense posture) ලෙස හමුදාව රඳවා ඇත. අලුතින් ලැබුණු අනුමැතියත් සමඟ හමුදාව තවදුරටත් ලෙබනන් භූමිය තුළට ගමන් කරමින් හෙස්බොල්ලා සංවිධානයේ මර්මස්ථාන පාලනය කිරීමට නියමිතය.
මෙම ගොඩබිම් මෙහෙයුමට සමගාමීව ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ලෙබනනයේ බීරූට් අගනුවර වෙත එකවර දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් (Simultaneous strikes) එල්ල කරමින් පවතී. බීරූට් නුවර ‘ඩහියේ’ (Dahiyeh) දිස්ත්‍රික්කය සහ හෙස්බොල්ලා සංවිධානයට අයත් ‘අල්-මනාර්’ රූපවාහිනී නාලිකාව ද මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 52ක් මියගොස් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මේ අතර, හෙස්බොල්ලා සංවිධානය ද ඊශ්‍රායලයේ ‘රාමත් ඩේවිඩ්’ සහ ‘මෙරොන්’ හමුදා කඳවුරු ඉලක්ක කර ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටියි.
ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයෙන් පසු මැදපෙරදිග පුරා ඇවිළෙන මෙම යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Oil Prices) අද දිනය තුළ 8% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මෙය ඉදිරි සතියේදී මෙරට ඉන්ධන මිල කෙරෙහි ද බලපෑම් කළ හැකිය.















