අමෙරිකානු ඉතිහාසයේ පළමු වතාවට සක්‍රීය ජනාධිපති ආර්යාවක ලෙස ජගත් ආරක්ෂක මණ්ඩලයේ (UNSC) නිල මුලසුන හෙබවීමට මෙලනියා ට්‍රම්ප් මහත්මිය පියවර ගත්තාය. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර මාලාව හමුවේ කලාපයම යුද ගින්නෙන් ඇවිළෙමින් පවතින මොහොතක, ඇය සිය දේශනය පවත්වමින් අවධාරණය කළේ “සාමය යනු බිඳෙනසුලු දෙයක් විය යුතු නැති” බවත්, දැනුම සහ අවබෝධය තුළින් ස්ථාවර සාමයක් උදාකරගත හැකි බවත්ය.
එහිදී ඇය යුද්ධය හේතුවෙන් දිවි කැප කළ රණවිරුවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ අතර, යුදමය වාතාවරණය හමුවේ ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ගේ අනාගතය අඳුරු වීමට ඉඩ නොතැබිය යුතු බව පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව සිය සැමියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් දියත් කර ඇති යුද ක්‍රියාමාර්ග පිළිබඳව ඇය කිසිදු සෘජු ප්‍රකාශයක් සිදු නොකිරීම ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක් විය. ඇය වැඩිදුරටත් කියා සිටියේ අඥානකම නිසා ගැටුම් ඇතිවන බවත්, කෘතිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය හරහා දැනුම ව්‍යාප්ත කිරීමෙන් සාමය උදා කළ හැකි බවත්ය. මෙම ඓතිහාසික සැසිය අමතමින් ඇය කළ ප්‍රකාශය ලෝක දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.















