දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට සහ එහි පවතින දූෂිත ක්‍රියාවලිය පිළිබඳව තමා ඇසීමට සූදානම් වූ ප්‍රශ්න වාරණය කිරීමට කථානායකවරයා උත්සාහ කරන බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. ස්ථාවර නියෝග යටතේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න ඇසීමට විපක්ෂ නායකවරයාට ඇති අයිතිය මෙලෙස කප්පාදු කිරීම හරහා තමාගේ පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවේම භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස උල්ලංඝනය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ සෑම ගල් අඟුරු නැවක්ම බාල බවත්, ඒ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 300 කින් පමණ අඩු වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය, හදිසි මිලදී ගැනීම් සඳහා බලපෑ හේතු සහ ගල් අඟුරුවල GCE අගය (තාපන අගය) පිළිබඳව තමා නැව් වාර වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කළද, ඒවාට ඉඩ නොදීම හරහා රජය සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය. රටේ විදුලි අර්බුදය ජන ජීවිතයට සෘජුවම බලපාන බැවින්, මෙම වාරණය වහාම ඉවත් කර තමාට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.















