ඉරානය සහ අමෙරිකානු-ඉශ්‍රායල හමුදා අතර ඇති වී තිබෙන දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ජෝර්දානය, බහරේනය, ඉරාකය, කටාර් සහ කුවේට් යන රටවල සිටින අත්‍යවශ්‍ය නොවන අමෙරිකානු රජයේ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. ඉරානය විසින් එල්ල කරනු ලබන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මෙන්ම වාණිජ ගුවන් ගමන් අඩාල වීම නිසා ඇති වී තිබෙන ආරක්ෂක අවදානම මෙම තීරණයට හේතු වී ඇත. විශේෂයෙන්ම ඉරාකයේ පවතින පැහැරගැනීමේ සහ ප්‍රචණ්ඩත්වයේ අවදානම පිළිබඳව ද අමෙරිකාව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අඟහරුවාදා අලුයම සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට සහ කුවේට්හි පිහිටි තානාපති කාර්යාලයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම ආරක්ෂක පියවරයන් දැඩි කර ඇත. යුද්ධය ආරම්භ වූ දින සිට මැදපෙරදිග කලාපයේ පිහිටි බොහෝ අමෙරිකානු තානාපති කාර්යාල සිය නිලධාරීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (Shelter in place) නියෝග කර ඇති අතර, එහි වෙසෙන අනෙකුත් අමෙරිකානු පුරවැසියන්ට ද හැකි ඉක්මනින් වාණිජ ගුවන් ගමන් මගින් එම රටවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. කුවේට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ද පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ බොහෝ ගුවන් සේවා සිය ගමන් වාර තාවකාලිකව නතර කර ඇති බැවින් එහි සිටින විදේශිකයන්ට ඉවත් වීම දුෂ්කර වී තිබේ. අමෙරිකානු රජය සිය පුරවැසියන් සඳහා මෙතෙක් විශේෂ මුදාගැනීමේ ගුවන් ගමන් (Evacuation flights) ආරම්භ කර නොමැති අතර, පවතින තත්ත්වය හමුවේ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන්නේ අත්‍යවශ්‍යම සේවා සහ සීමිත නිලධාරීන් පිරිසක් පමණි. මෙම තත්ත්වය කලාපය පුරා වෙසෙන අනෙකුත් විදේශීය ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත.
















