චීන සංස්කෘතියේ අභිමානය සහ මහා සම්ප්‍රදාය විදහා දක්වන රතු ලැන්තෑරුම් චීනය පුරා පමණක් නොව ලොව පුරා විසිරී සිටින චීන ජාතිකයින්ගේ සැමරුම්වල නැතිවම බැරි අංගයකි. චීනයේ අගනගරවල සිට ගම් දනව් දක්වාත්, විදේශීය රටවල චීන වීදි දක්වාත් දකින්නට ලැබෙන මෙම රතු ලැන්තෑරුම් නිෂ්පාදනයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයකට වගකියනු ලබන්නේ හෙබෙයි (Hebei) පළාතේ පිහිටි තුන්ටූ (Tuntou) නමැති කුඩා ගම්මානයයි. 18 වන සියවසේ සිට පැවත එන රාජකීය ලැන්තෑරුම් නිෂ්පාදන කලාව අදටත් සුරැකිව පවතින මෙම ගම්මානයේ සෑම නිවසක්ම පාහේ කුඩා වැඩපොළක් වන අතර, පවුලේ සාමාජිකයින් සියල්ලන්ම පාහේ එක්ව මෙම නිර්මාණ අතින්ම (Handmade) සිදු කරනු ලබයි. වාර්ෂිකව ලැන්තෑරුම් ජෝඩු මිලියන 100කට අධික ප්‍රමාණයක් ලොව පුරා බෙදා හරින මෙම ගම්මානය වර්තමානයේදී ලෝකයේ ‘ලැන්තෑරුම් අගනුවර’ ලෙස විරුදාවලිය ලබා ඇති අතර, එය චීනයේ ඓතිහාසික සංස්කෘතික උරුමය සහ වර්තමාන ආර්ථික ශක්තිය යා කරන අපූරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.














