ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති දැවැන්ත යුදමය වාතාවරණය හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම අවදානම් කලාපයක් බවට පත්ව ඇති බවත්, එහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් රජය වහාම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අනුරාධපුර උඩුදුම්බර ජනපදයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම පිරිස මැදපෙරදිග සේවකයන් බැවින්, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. යුදමය තත්ත්වය නිසා ඇතිවිය හැකි බලපෑම් කළමනාකරණය කරමින් එම ජනතාව රැකගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රටේ බලශක්ති සහ කෘෂිකාර්මික අර්බුද පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා, නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ලද ගල් අඟුරු නැව් 10ම ප්‍රමිතියෙන් තොර බවත්, මේ පිළිබඳව බලධාරීන් දැනුවත්ව සිටියද රජය නිසි පියවර ගෙන නොමැති බවත් චෝදනා කළේය. වත්මන් රජය මැතිවරණ සමයේදී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට ගොවීන්ට සිය අස්වැන්න සඳහා ලැබෙන්නේ රුපියල් 70ත් 80ත් අතර අවම මිලක් බවත්, පොහොර සහනාධාරය පවා නිසි ලෙස නොලැබීමෙන් ගොවි ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් ඔහු පැවසීය. එමෙන්ම තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව පවසමින් විපක්ෂ නායකවරයා සිය විරෝධය පළ කළේය.
මීට අමතරව, මෙරට බුදුදහමට සහ මහා සංඝරත්නයට එරෙහිව වත්මන් රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් සිදුකරන අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව ද විපක්ෂ නායකවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුදුදහමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානය සුරක්ෂිත කළ යුතු බවත්, කිසිදු ගිහියෙකුට ආගමික නායකයන්ට අවමන් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටුවා සියලු ආගම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, ආගමික නායකයන්ට අපහාස කරන පිරිස්වලට එරෙහිව විපක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බව ද සඳහන් කළේය.














