සැලසුම් කළ පරිදිම 2026 වසර නිමවීමට ප්‍රථම මහනුවර දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහතික වෙයි. පේරාදෙණිය කළු පාලමේ නඩත්තු කටයුතු පිළිබඳව පැන නැගී තිබූ ගැටලු නිරාකරණය කරමින් ඔහු සඳහන් කළේ, පාලමේ ඇලවී තිබූ ගල් කුලුන නවීන ඉංජිනේරු තාක්ෂණයට අනුව යළි සකස් කර පාලම මේ වන විට සම්පූර්ණයෙන්ම ස්ථාවර කර ඇති බවයි. පාලමේ වැඩකටයුතු කිසිසේත්ම නතර වී නොමැති අතර, දුම්රිය මගීන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි පරිදි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, ඉන්දීය ණය ආධාර යටතේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට ද රජය සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය මාර්ගයේ පවතින විවිධ තාක්ෂණික හා භෞතික බාධා ඉවත් කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ කොළඹ සිට මහනුවර දක්වා වූ දුම්රිය ගමනාගමනය වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂිත වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














