ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර හටගෙන ඇති දරුණුතම හමුදාමය ගැටුම් හේතුවෙන් පසුගිය පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 104 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථානය සඳහා වන එක්සත් ජාතීන්ගේ සහාය මෙහෙයුම (UNAMA) අද (මාර්තු 03) නිවේදනය කළේය. දෙරට අතර පවතින මෙම සන්නද්ධ ගැටුම අඛණ්ඩව හයවන දිනටත් ක්‍රියාත්මක වන අතර, දේශසීමා හරහා එල්ල වන කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය පවසන්නේ තමන් කන්දහාර් (Kandahar) ප්‍රදේශයේ පිහිටි තවත් පාකිස්ථාන හමුදා මුරපොලක් අත්පත් කරගත් බවයි. පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය තුළ සිටින සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම් දියත් කළ බව තලේබාන් පාලනය සඳහන් කරන අතර, පාකිස්ථාන හමුදා විසින් සිය සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ද ඔවුහු චෝදනා කරති. කෙසේ වෙතත්, ඉස්ලාමාබාද් පාලනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන් කිසිදු විටෙක සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි.
වසර ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණුතම ගැටුම ලෙස සැලකෙන මෙය හේතුවෙන් මානුෂීය ආධාර සැපයීමේ කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, වහාම ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.














