පසුගිය වසරේ ඇතිවූ දරුණු දේශපාලන අර්බුදයෙන් සහ රජය පෙරළා දැමීමේ විරෝධතාවලින් පසු නේපාලයේ පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 05) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. අතිශය “සංකීර්ණ සහ අභියෝගාත්මක” කාලපරිච්ඡේදයකින් පසු පැවැත්වෙන මෙම මැතිවරණය සාර්ථක කර ගැනීම සඳහා එදිනට මැතිවරණ මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස අන්තර්කාලීන අගමැතිනිය වන සුෂීලා කාර්කි මහත්මිය ජාතිය අමතමින් ඉල්ලා සිටියාය. මෙවර නේපාල මහ මැතිවරණය සඳහා ඡන්දදායකයින් මිලියන 19ක් පමණ සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට ප්‍රථම වතාවට ඡන්දය ප්‍රකාශ කරන තරුණ තරුණියන් ලක්ෂ 8ක් පමණ ඇතුළත් වේ.
මැතිවරණ කටයුතුවලට බාධා කළ හැකි දේශපාලන ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නේපාල ආරක්ෂක අංශ මේ වන විටත් දැඩි සෝදිසියෙන් පසුවන අතර “මැතිවරණ විරෝධී කටයුතුවල” නිරත වූ පුද්ගලයින් 133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නේපාල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) සඳහා නියෝජිතයින් තෝරා ගැනීම මෙහිදී සිදු කෙරෙන අතර, රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී ගමන්මග තීරණය කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම මැතිවරණය ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබේ.















