හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයින් පිරිසක් සිය වැටුප් විෂමතාවන් නිසි ලෙස විසඳන ලෙස බල කරමින් අද (මාර්තු 03) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වෙති. මෙම සේවකයින් පෙන්වා දෙන්නේ තමන් වසර 06ක පමණ කාලයක සිට නිවාඩු පවා ලබා නොගෙන අඛණ්ඩව සේවය කළද, තමන්ට හිමිවිය යුතු නිසි වැටුප් වර්ධක හෝ දීමනා මෙතෙක් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
පවතින උද්ධමනය හමුවේ වත්මන් වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බව පවසන විරෝධතාකරුවන්, ඊයේ (02) රාත්‍රියේ ද වරාය පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ. කොන්ත්‍රාත් පදනම මත සේවය කරන තමන් ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා ලෙස හෝ සේවයට සරිලන සාධාරණ වැටුපක් ලබා දෙන ලෙස ඔවුන් මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.















