අමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 787 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය අද (03) පස්වරුවේ නිවේදනය කළේය. ඉරාන අගනුවර වන ටෙහෙරාන් නුවර ඇතුළු ප්‍රධාන නගර රැසකට රාත්‍රිය පුරා ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර ඇත්තේ මෙය මාසයකට වඩා වැඩි කාලයක් පැවතිය හැකි දැවැන්ත මෙහෙයුමක ආරම්භය පමණක් බවයි.
මෙම යුදමය තත්ත්වය මැදපෙරදිග කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අඟහරුවාදා අලුයම ඉරානය විසින් සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර, ඉන් සුළු දේපළ හානි වාර්තා වී තිබේ. මීට පෙර කුවේට්හි අමෙරිකානු තානාපති කාර්යාලයට ද ප්‍රහාර එල්ල වූ අතර, ආරක්ෂක පියවරක් ලෙස බහරේනය, ඉරාකය, කටාර්, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ඉවත් කර ගැනීමට වොෂින්ටනය පියවර ගෙන ඇත.
මේ අතර ලෙබනනයේ ද තත්ත්වය අතිශය උණුසුම් වී තිබේ. ඉරාන හිතවාදී හෙස්බොල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ඉශ්‍රායල හමුදා දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශවලින් දැවැන්ත දුම් වලා සහ පිපිරුම් හඬවල් වාර්තා වේ. ඉශ්‍රායල පාබල හමුදා දකුණු ලෙබනනය තුළ සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ලෙබනන් හමුදා දේශසීමා ආසන්නයේ පිහිටි සිය මුරපොළවලින් ඉවත් වෙමින් පවතින බව එරට නිල පුවත් ඒජන්සිය සඳහන් කරයි.














