ලොව දැවැන්තම කායවර්ධන සහ ශක්තිජනක ක්‍රීඩා උළෙලක් වන ‘Arnold Sports Festival 2026’ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බර ඉසිලීමේ සහ පවර් ලිෆ්ටිං (Powerlifting) ක්‍රීඩක රන්සිළු ජයතිලක අද අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ කොලම්බස් නුවරදී පැවැත්වෙන මෙම සුවිශේෂී තරගාවලිය සඳහා මෙවර ආසියානු මහාද්වීපයෙන්ම තේරී පත්ව ඇති එකම ක්‍රීඩකයා රන්සිළු වීම විශේෂත්වයකි. ලෝක ශූරතා රැසකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දී ඇති ඔහු, මෙවර සුපිරි ක්‍රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක නිරත වීමට නියමිතය.
හොලිවුඩ් සුපිරි නළු ආර්නෝල්ඩ් ෂවාස්නෙගර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ ලොව දක්ෂතම ක්‍රීඩකයින්ට පමණක් වන අතර, රන්සිළුගේ මෙම ගමන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සිය පිටත්ව යාමට පෙර අදහස් දැක්වූ රන්සිළු පවසා සිටියේ තම මව්බිම වෙනුවෙන් උපරිම දක්ෂතා දක්වා ලෝක මට්ටමේ ජයග්‍රහණයක් අත්කර ගැනීමට තමා දැඩි සූදානමකින් පසුවන බවයි. මුළු මහත් ආසියාවේම බලාපොරොත්තු කරපින්නාගෙන යන රන්සිළුට සුභ පැතීමට මෙරට ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටිති.














