ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ නව යුද්ධයේදී ප්‍රථම වතාවට ඇමෙරිකානු හමුදා සෙබළුන් පිරිසක් මියගිය බව අද (මාර්තු 03) නිල වශයෙන් තහවුරු විය. පසුගිය ඉරිදා කුවේට්හි පිහිටි ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මෙම සෙබළුන් 6 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කළේය. මුලින් සෙබළුන් තිදෙනෙකු මියගිය බව වාර්තා වුවද, සුන්බුන් අතර තිබී තවත් සිරුරු දෙකක් හමුවීම සහ බරපතල තුවාල ලැබූ තවත් අයෙකු මියයාම හේතුවෙන් මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇත.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) තහවුරු කළේ කුවේට්හි පිහිටි ආරක්ෂිත බංකරයක් වෙත මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ඉරානය විසින් එල්ල කරන ලද පළමු ප්‍රතිප්‍රහාරාත්මක මිසයිල මාලාවේ එක් මිසයිලයක් ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති (Air Defences) මගහරවා ගනිමින් මෙම ඉලක්කය වෙත පතිත වී තිබේ. මීට අමතරව කුවේට්හි බයාන් (Bayan) ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම මරණ වාර්තා වීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව තවදුරටත් යුද මෙහෙයුම් දැඩි කරනු ඇති බවට විදෙස් විචාරකයෝ මත පළ කරති. යුද්ධය ආරම්භ වූ දින සිට මෙතෙක් ඇමෙරිකානු හමුදාව පාර්ශවයෙන් තහවුරු වූ එකම ජීවිත හානි ප්‍රමාණය මෙය වේ.














