පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරිනියකට විවිධ තාඩන පීඩන, හිරිහැර සහ බරපතළ පරිපාලනමය අසාධාරණකම් සිදුව ඇති බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටු වාර්තාව මගින් තහවුරු කර තිබේ. මෙම වාර්තාව පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර, අදාළ නිලධාරිනියට සිදුව ඇති අගතිය නිවැරදි කිරීම සඳහා නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත.
කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරව නිලධාරිනියගේ 2024 සහ 2025 වර්ෂවලට අදාළ වැටුප් වර්ධක ගෙවීම පැහැර හැර ඇති බවත්, ඇය දැනට මාරු කර යවා ඇති අංශය ඇයගේ සුදුසුකම්වලට නොගැලපෙන බැවින් ඇයව වහාම පෙර සේවය කළ දෙපාර්තමේන්තුවටම ස්ථාන මාරු කළ යුතු බවත් කමිටුව නිර්දේශ කර ඇත. එසේම, දත්ත පදනම් පරිපාලක (Database Administrator) වැනි තනතුරු සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණවලදී, දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පූර්ව නිගමනයක සිට කටයුතු කිරීම හේතුවෙන් ඇයට හිමිවීමට තිබූ වෘත්තීය අවස්ථා අහිමි වී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබේ.
තවද, පාර්ලිමේන්තුවේ පද්ධති සහ පාලන ක්‍රමවේදයන්හි පවතින දුර්වලතා හේතුවෙන් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අදාළ නිලධාරිනිය ලිංගික හිංසනයකට ලක්ව නැති බව ද වාර්තාවේ සඳහන් වේ. ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුත් මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් සහ ඵලදායී දුක්ගැනවිලි කළමනාකරණ වැඩපිළිවෙළක් ස්ථාපනය කරන ලෙස ද කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත.














