ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ වුවද, පාකිස්තානය සිය ඉන්දීය විරෝධී මතවාදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින බව අද (මාර්තු 03) වාර්තා විය. පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් (Khawaja Asif) විසින් ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දීර්ඝ සටහනක් තබමින්, වත්මන් මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දියාව ද සම්බන්ධ කරගනිමින් බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.
ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් වුවහොත්, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ එක්ව ඉරානය ද පාකිස්තානයට එරෙහි වීමේ “ඒකාබද්ධ න්‍යාය පත්‍රයකට” අවතීර්ණ වනු ඇති බවට අසීෆ් අනාවැකි පළ කරයි. ඊශ්‍රායලයේ බලපෑම පාකිස්තාන දේශසීමාව දක්වා රැගෙන ඒම “සියොන්වාදී” (Zionist) කුමන්ත්‍රණයක කොටසක් බවත්, එමගින් පාකිස්තානය සතුරන්ගෙන් වට වූ අරාජික රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන බවත් ඔහු පවසා තිබේ. ඉන්දියාව විසින් තලේබාන් සංවිධානය සිය අතකොළුවක් ලෙස භාවිතා කරන බවට පාකිස්තානය මීට පෙරද චෝදනා කළ අතර, වත්මන් යුද වාතාවරණය හමුවේ සිය අසල්වැසි රටවල් තුනම (ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්තානය) තමන්ට එරෙහි වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යවරයා සිය මිලියන 250ක් වන ජනතාවට අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාව මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හමුවේ පාකිස්තානය අනවශ්‍ය බියක් පතුරවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














