ඉරානයේ නටාන්ස් (Natanz) හි පිහිටි භූගත යුරේනියම් සාරවත් කිරීමේ මධ්‍යස්ථානයට අමෙරිකානු සහ ඉශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අද (03) නිල වශයෙන් තහවුරු කළේය. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම ඒජන්සිය ප්‍රකාශ කළේ, භූගත ඉන්ධන සාරවත් කිරීමේ කම්හලට (FEP) ඇතුළු වන ගොඩනැගිලිවලට මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇති බවයි.
නටාන්ස් මධ්‍යස්ථානය යනු ඉරානයේ ක්‍රියාත්මක වන ප්‍රධාන යුරේනියම් සාරවත් කිරීමේ මධ්‍යස්ථාන තුනෙන් එකක් වන අතර, පසුගිය ජූනි මාසයේදී ද අමෙරිකානු-ඉශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ එය දැඩි ලෙස හානියට පත් විය. මෙවර ප්‍රහාරය පසුගිය ඉරිදා දින එල්ල වූවක් බව ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය නිසා විකිරණ කාන්දුවීමක් හෝ පාරිසරික බලපෑමක් සිදුවීමේ අවදානමක් නොමැති බව IAEA ආයතනය අවධාරණය කරයි. එමෙන්ම, මීට පෙර ප්‍රහාරවලින් දැනටමත් දැඩි හානි සිදුව ඇති ප්‍රධාන භූගත ශාලාවලට මෙවර ප්‍රහාරවලින් අලුතින් විශාල බලපෑමක් එල්ල වී නොමැති බව ද ඔවුන් සඳහන් කරයි. මෙම වාර්තාව ඇමෙරිකානු විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂණ ආයතනය (ISIS) විසින් ඊයේ නිකුත් කරන ලද දත්ත සමඟ ද සැසඳේ.














