ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (මාර්තු 03) විශේෂ අනාවරණයක් සිදු කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
පවතින තත්ත්වය මත සංචාරක කර්මාන්තයට සතියක් තුළ අහිමි විය හැකි මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
යුරෝපය ඇතුළු බටහිර රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් මැදපෙරදිග ගුවන් තොටුපොළවල් (ඩුබායි, දෝහා, අබුඩාබි) හරහා පැමිණෙන අතර, එම කලාපයේ ගුවන් සීමා වසා දැමීම සහ ගුවන් ගමන් අවලංගු වීම ලංකාවට පැමිණෙන සංචාරක ප්‍රමාණය අඩුවීමට සෘජුවම බලපා ඇත.
මාර්තු මාසය සඳහා අපේක්ෂා කළ සංචාරක ඉලක්ක සපුරා ගැනීම මෙහිදී අභියෝගයක් විය හැකි බවත්, බොහෝ සංචාරකයින් සිය සංචාරක සැලසුම් කල් දමමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අර්බුදය හමුවේ රජය විසින් මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර සති දෙකක (දින 14) කාලයක් සඳහා නොමිලේ දීර්ඝ කිරීමට ද තීරණය කර ඇති අතර, ගුවන් ගමන් අවහිර වූ සංචාරකයින්ට වෙනත් විකල්ප මාර්ග ඔස්සේ සිය රටවලට යාම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සහන සැලසීමට ද පියවර ගෙන තිබේ.














