ඇපල් (Apple) සමාගම සිය නවතම iPhone 17e මාදිලිය නිවේදනය කිරීමට සමගාමීව, චීන තාක්ෂණික සමාගමක් වන HONOR විසින් “AI සුපිරි මොළයක්” සහිත අනාගතවාදී රොබෝ දුරකථනයක් (Robot Phone) ලොවට හඳුන්වා දී ඇත. බාර්සිලෝනාහි පැවැති ජංගම ලෝක කොංග්‍රසයේදී (MWC 2026) ප්‍රදර්ශනය කෙරුණු මෙම උපාංගය, ස්මාර්ට් දුරකථනයක් යන්නට නව අර්ථකථනයක් ලබා දී තිබේ. Pixar සමාගමේ Wall-E රොබෝවරයාගේ කුඩා ආකෘතියක් බඳු මෙම දුරකථනයට තම හිමිකරු දෙස බලා “හිස වැනීමට” (Nod) සහ සංගීතයට අනුව නර්තනයේ යෙදීමට ද හැකියාව පවතී.
මෙම රොබෝ දුරකථනයේ ඇති සුවිශේෂී “ගිම්බල්” (Gimbal) කැමරා පද්ධතිය මගින් වීඩියෝ දර්ශන පටිගත කිරීමේදී හෝ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේදී ස්වයංක්‍රීයව පරිශීලකයා ලුහුබැඳ යාම (Subject tracking) සිදු කරයි. මේ නිසා සමාජ මාධ්‍ය සඳහා අන්තර්ගතයන් නිර්මාණය කරන්නන්ට වෙනත් අයෙකුගේ සහයකින් තොරව ඉතා ස්ථාවර දර්ශන ලබාගත හැකිය. HONOR සමාගම පවසන්නේ මෙම උපාංගය 2026 වසරේ දෙවන භාගයේදී චීන වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර, ඇපල් සමාගම සිය iPhone 17e මාදිලිය ඩොලර් 599ක් වැනි සාපේක්ෂව අඩු මිලකට හඳුන්වා දී ඇත. ඇලුමිනියම් රාමුවකින් සහ සීරීම්වලට ඔරොත්තු දෙන ‘Ceramic Shield 2’ තාක්ෂණයෙන් යුත් මෙම දුරකථනය කළු, සුදු සහ ලා රෝස පැහැයෙන් යුක්තය. මෙයට අමතරව පසුගිය සතියේ සැම්සුන් (Samsung) සමාගම ද සිය Galaxy S26 Ultra මාදිලිය නිකුත් කළ අතර, එහි විශේෂිත පෞද්ගලිකත්ව තිරයක් (Privacy screen) ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, තාක්ෂණික ලෝකයේ අවධානය දිනා ඇත්තේ මෙම සාම්ප්‍රදායික දුරකථන අභිබවා HONOR රොබෝ දුරකථනය ඉදිරිපත් කර ඇති “ජීවී ගුණයෙන්” යුත් AI තාක්ෂණයයි.














