ඇමරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, මැදපෙරදිග කලාපයේ පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජෙනරාල් එබ්‍රහිම් ජබ්බාරි අද (03) දැඩි අනතුරු ඇඟවීමක් කළේය. සිය රටේ ප්‍රධාන මධ්‍යස්ථානවලට හානි කිරීමට සතුරා උත්සාහ කරන්නේ නම්, කලාපයේ පවතින සෙසු රටවල ආර්ථික මර්මස්ථාන ද විනාශ කිරීමට තමන් පසුබට නොවන බව ඔහු අවධාරණය කර සිටියේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විටත් වසා දමා ඇති බව පෙන්වා දුන් ජෙනරාල්වරයා, දැනට ඩොලර් 85 සීමාව පසුකර ඇති ලෝක තෙල් මිල නුදුරේදීම ඩොලර් 200 දක්වා ඉහළ යනු ඇති බවට ද අනාවැකි පළ කළේය. 2024 ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල මෙලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත්තේ ඉරානයේ මෙම දැඩි තීරණත් සමඟය. ඉරාන පුවත් සේවයක් වන ISNA වාර්තා කරන පරිදි, මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ සෙසු අරාබි රටවල් ද සිය ආර්ථික මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.














