මොරටුව බස් නැවතුම්පළ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (03) රාත්‍රියේ සොයාගෙන තිබේ. මොරටුව පොලිසියට ලද 119 හදිසි ඇමතුමකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම සිරුර හමුවී ඇති අතර, මියගොස් ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි “සුරා” නමින් හඳුන්වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. මියගිය පුද්ගලයාගේ සිරුරේ දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන අතර, පොලිසිය සැක කරන්නේ ඔහු වෙනත් ස්ථානයකදී ඝාතනය කර පසුව මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවයි.
පොලිස් වාර්තාවලට අනුව, මියගිය “සුරා” නමැත්තා මීට පෙර සිදුවූ වෙඩි තැබීමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි. ඒ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනටමත් නඩුවක් විභාග වෙමින් පවතින බව ද අනාවරණය වී තිබේ. මෙම ඝාතනය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකළ පළිගැනීමක් ද යන්න පිළිබඳව මොරටුව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














