ලොව අතිශය භයානක මත්ද්‍රව්‍ය ජාලයක් වන ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කාටලයේ නිර්මාතෘ නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටෙස් හෙවත් “එල් මෙන්චෝ” (El Mencho) ගේ අවමංගල්‍ය උත්සවය පසුගිය සඳුදා මෙක්සිකෝවේ ග්වාඩලජාරා නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ. පෙබරවාරි අග භාගයේදී මෙක්සිකානු විශේෂ බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා මියගිය මෙම 59 හැවිරිදි මත්ද්‍රව්‍ය රජුගේ දේහය රන් ආලේපිත මිනීපෙට්ටියක තැන්පත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකාව විසින් ඔහු අල්ලා දීමට ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් පවා පනවා තිබූ අතර ඔහු මෙක්සිකෝවේ සිටි දරුණුතම අපරාධකරුවා ලෙස සැලකේ.
අවමංගල්‍ය උත්සවය පැවති ප්‍රදේශය පුරා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණේ ඔහුගේ මරණයත් සමඟ මෙක්සිකෝවේ ප්‍රාන්ත 20ක පමණ මත්ද්‍රව්‍ය කල්ලි විසින් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගනිමිනි. මල් සැරසිලි ප්‍රවාහනය කිරීමට පමණක් ලොරි රථ 5ක් අවශ්‍ය වී තිබූ අතර, ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූ කුකුළන් කෙටවීම සංකේතවත් කරමින් කුකුළෙකුගේ හැඩයට කළ මල් සැරසිල්ලක් ද එහි විය. ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙම ඝාතනය සැලකුණද, “එල් මෙන්චෝ” ගෙන් පසු පුරප්පාඩු වූ නායකත්වය වෙනුවෙන් කාටලයේ විවිධ කල්ලි අතර අභ්‍යන්තර යුද්ධයක් ඇවිලී යා හැකි බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.













