විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජයත් සමඟ රට පුරා දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් පවතින පසුබිමක, හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. 2015 වසරේදී තමන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිශාන්ත රණතුංග මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත්වීමට ඉඩ නොදී, අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය වර්තමාන පරිහානියට මූලික හේතුවක් වූ බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා පිළිගෙන ඇත. එවකට පැවති දේශපාලන වාතාවරණය හේතුවෙන් එම තීරණය ගැනීමට සිදු වූවත්, ඒ පිළිබඳව තමන් අද පසුතැවෙන බව ඔහු සඳහන් කරයි.
නිශාන්ත රණතුංග මහතා 2009 සිට 2015 දක්වා ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟ පහකට සුදුසුකම් ලබා ඉන් දෙකක් ජයග්‍රහණය කළ බව නවින් දිසානායක මහතා සිහිපත් කළේය. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය සහ ආසියානු කුසලාන ජයග්‍රහණය ඔහුගේ පරිපාලන දක්ෂතාවයට හොඳම උදාහරණ බව හිටපු අමාත්‍යවරයා පවසයි. ඉන්දියාවේ පාලනයට නතුව ඇති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අතුරු කමිටුවලට විරුද්ධ වන පසුබිමක, එදා නිශාන්ත රණතුංග වැනි දක්ෂ පරිපාලකයෙකුට නායකත්වය ලබා දුන්නේ නම් අද ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා වෙනස් මගක පවතිනු ඇති බව ඔහුගේ අදහසයි.














