මැදපෙරදිග කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන යුදමය වාතාවරණය හේතුවෙන් තම රටට අවශ්‍ය ගුවන් ආරක්ෂක මිසයිල සහ අනෙකුත් අවි ආයුධ සපයා ගැනීම දැඩි අසීරුතාවයකට පත්වනු ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි බිය පළ කරයි. ඉතාලි පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝක අවධානය සහ මිත්‍ර පාක්ෂිකයන්ගේ යුද සම්පත් මැදපෙරදිග දෙසට යොමු වීම හරහා රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය ගෙන යන සටන අමතක වීමේ අවදානමක් පවතින බවයි. විශේෂයෙන්ම තම රටේ අහස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මිසයිල ලබා ගැනීමේදී දැඩි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය.
ඉරාන-ඊශ්‍රායල ගැටුම සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත්, එය දිගුකාලීන මහා පරිමාණ යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිය යුද ආධාර මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක, යුක්‍රේනයේ ආරක්ෂක විධිවිධාන දුර්වල වීම රුසියාවට වාසිදායක තත්ත්වයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














