ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පැවැත්වීමට තිබූ සාකච්ඡා අවස්ථා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර ඇති බවට ලැබුණු තොරතුරු මත ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ දැන් සියල්ල ප්‍රමාද වැඩි බවයි. පසුගිය දින කිහිපය පුරා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ප්‍රධාන මිලිටරි මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රබල ප්‍රහාර මාලාවකින් පසු ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් හමුදාව සහ නාවික හමුදාව මේ වන විටත් අඩපණ වී ඇති බවයි.
ඔපරේෂන් එපික් ෆියුරි ලෙස නම් කර ඇති මෙම හමුදා ක්‍රියාන්විතයේ ප්‍රධාන අරමුණ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය මුළුමනින්ම නතර කිරීම බව ඇමරිකානු රජය අවධාරණය කරයි. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟ එරට දේශපාලන ස්ථාවරත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර නව නායකත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් සෙවීමට උත්සාහ කළද ට්‍රම්ප් පාලනය ඒ සඳහා මේ වන විට ඉඩක් ලබා නොදෙන බව පෙනෙන්නට තිබේ. මෙම දැඩි තීරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම සෞදි අරාබිය සහ කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර ලෝක වෙළඳපොලේ තෙල් සහ ගෑස් මිල කෙරෙහිද මෙය සෘජු බලපෑමක් එල්ල කර තිබේ.
















