ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන දැවැන්ත ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට තුළ දරුණු මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනන රජයේ ආපදා කළමනාකරණ ඒකකය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව පසුගිය පැය 48ක් වැනි කෙටි කාලය තුළ පමණක් පුද්ගලයින් 58,000කට අධික පිරිසක් තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් තිබෙනවා. දකුණු ලෙබනනය සහ බීරූට් අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට නිල වශයෙන් තහවුරු වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ලෙබනනය පුරා ක්‍රියාත්මක වන මෙම දරුණු හමුදා ක්‍රියාන්විතය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සිටින අතර ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එරට රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් දැඩි භීතියට පත්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කරන ලෙස මානුෂීය සංවිධාන ඉල්ලීම් කර සිටිනවා. යුදමය තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අවතැන් වන පිරිස ලක්ෂ සංඛ්‍යාව ඉක්මවා යා හැකි බවට ද අනාවැකි පළ වී තිබෙනවා.














