මධ්‍ය පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ යුරෝපීය නායකයින් පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා ක්‍රියාමාර්ගයත් සමඟ යුරෝපීය මහාද්වීපය දේශපාලනික වශයෙන් බෙදී ඇති ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිදුවීම් මාලාව පාලනය කර ගැනීමට ඔවුන් සතු බලය ද සීමා වී තිබෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමඟ යුරෝපීය රටවල් සියල්ලම පාහේ මේ වන විට දැඩි කනස්සල්ලට පත්ව සිටින්නේ එම කලාපයේ වෙසෙන දස දහස් සංඛ්‍යාත තම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවයි.
මෙම අර්බුදය හේතුවෙන් යුරෝපයේ බලශක්ති සහ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර විශේෂයෙන්ම ස්වභාවික වායු මිල ඉහළ යාම 2022 වසරේ රුසියානු-යුක්රේන යුද්ධයෙන් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කර තිබෙනවා. මෙම තත්ත්වය යුරෝපීය පාරිභෝගිකයින්ට සෘජු බලපෑමක් එල්ල කරන අතරම කලාපීය ආර්ථික ස්ථාවරත්වයට ද විශාල තර්ජනයක් වී තිබෙනවා. යුරෝපීය නායකයින් අතර පවතින මෙම සම්බන්ධීකරණ මදිකම සහ මතභේදාත්මක ස්ථාවරයන් හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනය තුළ යුරෝපයේ බලපෑම ද ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව විචාරකයින් පෙන්වා දෙනවා.














