ලොව පුරා ප්‍රචලිත සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් ආයතනය සිය පරිශීලකයින්ගේ සෘජු පණිවුඩ (Direct Messages) සඳහා අන්තයේ සිට අන්තයට සංකේතනය කිරීමේ (End-to-End Encryption) තාක්ෂණය හඳුන්වා නොදීමට තීරණය කර තිබෙනවා. වට්ස්ඇප්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සෙසු ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල මෙම තාක්ෂණය භාවිත කළ ද ටික්ටොක් ආයතනය පවසන්නේ එමගින් පරිශීලකයින්ගේ ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවයි. පණිවුඩ යවන්නාට සහ ලබන්නාට පමණක් කියවිය හැකි පරිදි පණිවුඩ සංකේතනය කිරීම නිසා හානිකර අන්තර්ගතයන් සහ අපරාධමය ක්‍රියාකාරකම් හඳුනා ගැනීමට පොලිසියට සහ ආරක්ෂක අංශවලට ඇති හැකියාව අහිමි වන බව ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම තරුණ පරිශීලකයින් හිරිහැරවලට ලක්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ටික්ටොක් ආයතනය ලන්ඩනයේ පැවැති ආරක්ෂක හමුවකදී තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම තීරණය විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ ටික්ටොක් ආයතනය චීන රජය සමඟ පවතින සබඳතා හරහා පරිශීලක දත්ත අවභාවිත විය හැකි බවට චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමකයි. පෞද්ගලිකත්වයට වඩා ක්‍රියාකාරී ආරක්ෂාව (Proactive Safety) වැදගත් බව ටික්ටොක් තර්ක කළ ද මෙය ගෝලීය පෞද්ගලිකත්ව අපේක්ෂාවන්ට පටහැනි බව තාක්ෂණික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.













