ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ස්පාඤ්ඤයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු භාවිත කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ස්පාඤ්ඤය ඉතා අහිතකර ලෙස කටයුතු කර ඇති බැවින් එරට සමඟ පවතින සියලුම ගනුදෙනු නතර කරන ලෙස තමා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දුන් බවයි. දකුණු ස්පාඤ්ඤයේ රොටා සහ මොරොන් යන යුද කඳවුරු ඉරාන ප්‍රහාර සඳහා භාවිත කිරීමට අවසර නොදීමත් සමඟ අමෙරිකාව මේ වන විටත් සිය ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
මෙම අර්බුදයට අමතරව නේටෝ සාමාජිකයින් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවට අමෙරිකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීම ද ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබේ. ස්පාඤ්ඤයට අදාළ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් නතර කිරීමට හෝ සම්බාධක පැනවීමට තමාට පූර්ණ අයිතිය ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී ස්පාඤ්ඤය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවට ඉඟි පළ කළේය. මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපා සංගමය සහ අමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අත්ලාන්තික් සාගරය හරහා සිදුවන වෙළෙඳ කටයුතු ද දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














