ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2026 වසරේ මුල් මාස දෙක තුළ ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 279,328ක් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 16.2ක කැපී පෙනෙන ඉහළ යාමකි. මෙම වර්ධනයත් සමඟ 2026 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 28 දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මෙම වාර්තාගත සංචාරක පැමිණීම සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ ඉන්දියාව වන අතර පෙබරවාරි මාසයේදී පමණක් ඉන්දීය සංචාරකයින් 47,679ක් මෙරටට පැමිණ තිබෙනවා. මීට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් ද සැළකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. රුසියාවෙන් සහ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද වසරේ මුල් මාස දෙක තුළ පිළිවෙළින් 50,233ක් සහ 60,328ක් ලෙස ඉහළ අගයක් ගෙන තිබේ. මෙම සාධනීය ප්‍රවණතාවය මෙරට විදේශ විනිමය ඉපයීම් ශක්තිමත් කිරීමට සහ ආර්ථික පුනර්ජීවනයට විශාල රුකුලක් වනු ඇතැයි සංචාරක අංශ විශ්වාසය පළ කරනවා.














