ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොළවල් අඛණ්ඩව තුන්වන දිනටත් අද (බදාදා) දැඩි පසුබෑමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම දකුණු කොරියාවේ කොස්පි (Kospi) දර්ශකය සියයට 3.7කින් පහත වැටී ඇති අතර ජපානයේ නිකේ (Nikkei) දර්ශකය සියයට 2.3කින් සහ ඕස්ට්‍රේලියාවේ ASX දර්ශකය සියයට 1.5කින් පහත වැටී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති මෙම අස්ථාවරත්වය මූල්‍ය වෙළඳපොළවල් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ගෝලීය බලශක්ති මිල ගණන් ද තවදුරටත් ඉහළ යමින් පවතී.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකාවලට එල්ල වන ප්‍රහාර සහ ඉරානය විසින් නිකුත් කර ඇති තර්ජන හේතුවෙන් නෞකා ගමනාගමනය මුළුමනින්ම පාහේ අඩාල වී තිබේ. මෙම බලශක්ති අර්බුදය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ඇමරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව ලබාදෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණ ද, ආයෝජකයින් තවමත් පසුවන්නේ දැඩි අවිශ්වාසයකිනි. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල ද අද උදෑසන වන විට සියයට 0.5කින් පමණ ඉහළ ගොස් ඇති අතර යුද්ධය තවදුරටත් දිගු වුවහොත් ගෝලීය ආර්ථිකයට මෙයින් එල්ල වන බලපෑම තවදුරටත් දරුණු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.














