බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරු (Andrew Mountbatten-Windsor) තමන් සතුව පැවති තවත් රජයේ දේපළක බදු ගිවිසුම අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බර්ක්ෂයර්හි පිහිටි ඊස්ට් ලොජ් (East Lodge) නම් වූ මෙම ඓතිහාසික නිවස සඳහා ඔහු වසරකට පවුම් 13,000කට ආසන්න කුලියක් ගෙවා ඇති අතර, එහි බදු කාලය අවසන් කරන ලෙස ඔහු දැන් ඉල්ලීමක් කර තිබේ. ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතා හේතුවෙන් පසුගිය වසරේදී වින්ඩ්සර්හි රෝයල් ලොජ් මන්දිරයෙන් ඉවත්ව සැන්ඩ්‍රිංහැම් වෙත පදිංචියට ගිය ඇන්ඩෘ කුමරු, සිය සේවකයින්ගේ නවාතැන් සඳහා මෙම කුඩා නිවස මෙතෙක් තබාගෙන සිට ඇත.
19 වන සියවසේ ඉදිකරන ලද මෙම පැරණි නිවස වින්ඩ්සර් සහ ඇස්කොට් අතර ඉතා ආකර්ෂණීය ස්ථානයක පිහිටා ඇති අතර, 1998 වසරේ සිට ඇන්ඩෘ කුමරු මෙය බදු පදනම මත ලබාගෙන තිබුණි. මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් පිළිබඳ කාරක සභාව රාජකීය බදු ගිවිසුම්වල විනිවිදභාවය සහ මහජන මුදල් අවභාවිතය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් වන පසුබිමක වීම විශේෂත්වයකි. ඇන්ඩෘ කුමරුගේ සංකීර්ණ මූල්‍ය කටයුතු පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මොහොතක, තවත් රාජකීය වරප්‍රසාදයක් මෙලෙස අත්හැර දැමීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.














