ලොව අතිශය භයානක මත්ද්‍රව්‍ය ජාලයක් වන “ජලිස්කෝ නිව් ජෙනරේෂන්” (CJNG) කාටලයේ නිර්මාතෘ සහ මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍ය කර සිටි අපරාධකරුවෙකු වූ නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටෙස් හෙවත් “එල් මෙන්චෝ” ගේ අවමංගල්‍ය උත්සවය පසුගිය සඳුදා රන් පැහැති මිනී පෙට්ටියක තැන්පත් කර පවත්වනු ලැබීය. පෙබරවාරි අගභාගයේදී මෙක්සිකානු විශේෂ බලකායන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා සිටි 59 හැවිරිදි මෙන්චෝ පසුව මියගිය අතර, ඔහුගේ මරණයත් සමඟ මෙක්සිකෝව පුරා ප්‍රාන්ත 20ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ද වාර්තා විය. ඇමරිකාව විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන අයෙකුට ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙක්සිකෝවේ ග්වාඩලජාරා (Guadalajara) නගරයේ පැවැති මෙම අවමංගල්‍ය උත්සවය මල් සැරසිලි සහ සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම්වලින් වර්ණවත් වී තිබූ අතර, නාඳුනන පුද්ගලයින් විසින් එවන ලද දැවැන්ත මල් වඩම් ප්‍රවාහනය කිරීමට පමණක් ලොරි රථ පහක් අවශ්‍ය වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වර්ණනා කරමින් ගයනු ලබන “නර්කොකොරිඩෝස්” (Narcocorridos) ගීත ගායනා කරමින් සහ ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් වූ කුකුළන් කෙටවීමේ ක්‍රීඩාව සිහිපත් කරමින් කුකුළෙකුගේ හැඩයට සකස් කළ මල් වඩම් ද එහි දක්නට ලැබුණි. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් විශාල පිරිසක් එම ප්‍රදේශය පුරා යොදවා තිබූ අතර, ඔහුගේ සොහොන අනෙකුත් මත්ද්‍රව්‍ය නායකයින්ගේ සොහොන්වලට සාපේක්ෂව තරමක් සරලව නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.














