ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ වුවද බ්‍රිතාන්‍ය රජයේ ආර්ථික සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක වන බව එරට මුදල් ඇමතිනී (Chancellor) රේචල් රීව්ස් සිය වසන්ත ප්‍රකාශය (Spring Statement) ඉදිරිපත් කරමින් අවධාරණය කළාය. අයවැය වගකීම් පිළිබඳ කාර්යාලය (OBR) විසින් බ්‍රිතාන්‍යයේ 2026 වසර සඳහා වන ආර්ථික වර්ධන පුරෝකථනය මීට පෙර පැවති සියයට 1.4 සිට සියයට 1.1 දක්වා පහත හෙළා තිබුණ ද, ඉදිරි වසරවලදී ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවට ඇය විශ්වාසය පළ කළාය. විශේෂයෙන්ම උද්ධමනය මේ වසරේදී බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගනු ඇති බව ද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය බ්‍රිතාන්‍ය ආර්ථිකයට “ඉතා සැලකිය යුතු” බලපෑමක් එල්ල කළ හැකි බවට අයවැය වගකීම් පිළිබඳ කාර්යාලය අනතුරු අඟවා තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය බ්‍රිතාන්‍යයේ උද්ධමනය යළිත් ඉහළ නැංවීමට හේතු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් තුළ බැංකු පොලී අනුපාත අඩු කිරීමේ හැකියාව ද සීමා විය හැකි බැවින්, ඉදිරි මාස කිහිපය බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවන වියදමට තීරණාත්මක වනු ඇත.














