පුල්මුඩේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් තුළ බලපත්‍ර නොමැතිව, රජයේ නියමිත මිල ඉක්මවා අධික මිල ගණන් යටතේ ඩීසල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පුල්මුඩේ පොලිසිය සමත්ව තිබේ. ඊයේ (03) පස්වරුවේ සිදුකළ මෙම වැටලීම පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක කර ඇත. පවතින ඉන්ධන අවශ්‍යතාව ප්‍රයෝජනයට ගනිමින් මහජනතාවගෙන් අධික මුදලක් අය කරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම වෙළඳසැලේ ඉතා අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 390ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පුල්මුඩේ, අරෆත් නගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ. ඉන්ධන තොග ගබඩා කිරීම සහ අලෙවි කිරීම සඳහා වන කිසිදු වලංගු බලපත්‍රයක් ඔහු සතුව නොතිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (04) දින කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පවතින නීතිමය වාතාවරණය යටතේ බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කිරීම සහ කළු කඩ මිලට ඉන්ධන විකිණීම බරපතල වරදක් බැවින්, ඒ පිළිබඳව පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ප්‍රදේශයේ මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු ඇත්නම් පොලිසිය දැනුවත් කරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටියි.














