අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද අතිනවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරය සහ බහුකාර්ය ගොඩනැඟිල්ල එළඹෙන මාර්තු 07 වැනිදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය. මෙම උත්සවය අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමිපාණන් සහ කුලපති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ විනයමුර්ති නාහිමිපාණන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදුකිරීමට කටයුතු යොදා ඇත.
මෙම නව ශ්‍රවණාගාරය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින උසස් තත්ත්වයේ ශ්‍රවණාගාරයක අවශ්‍යතාවය සපුරාලීමට ද ඉවහල් වනු ඇත. මහෝපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ප්‍රදේශයේ ජනතාවගේ කලාත්මක නිර්මාණ, ප්‍රජා සත්කාරක වැඩසටහන් මෙන්ම ව්‍යාපාර සංවර්ධන කටයුතු සඳහා ද මෙම මධ්‍යස්ථානය විවෘතව තැබෙන බවයි.














