කලාපය පුරා පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් මැදපෙරදිග රටවල් කිහිපයක් සඳහා වන සංචාරක උපදේශන (Travel Advisories) අද (මාර්තු 04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ඒ අනුව, මීට පෙර ආරක්ෂිත මට්ටම්වල පැවති ජෝර්දානය, ඕමානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මේ වන විට “Level 3: Reconsider Travel” (සංචාරය කිරීම පිළිබඳව නැවත සලකා බලන්න) යන මට්ටමට ඇතුළත් කර ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
මෙම නව වර්ගීකරණයට අනුව බහරේනය, කුවේටය, කටාර් සහ ඊශ්‍රායලය ද (බටහිර ඉවුර ඇතුළුව) 3 වන මට්ටමේ පවතින අතර, ඉරානය, ඉරාකය, ලෙබනනය, සිරියාව, යේමනය සහ ගාසා තීරය යන ප්‍රදේශ සඳහා “Level 4: Do Not Travel” (සංචාරය කිරීමෙන් වළකින්න) යන උපරිම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඊජිප්තුව සඳහා “Level 2: Exercise Increased Caution” (අමතර ප්‍රවේශමෙන් කටයුතු කරන්න) යන අනතුරු ඇඟවීම පනවා තිබේ. ඇමරිකානු වැසියන් සඳහා කොන්සියුලර් සහාය ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක ද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම තීරණය ගනු ලැබුවේ රියාද්හි තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ කලාපය පුරා අඛණ්ඩව එල්ල වන මිසයිල ප්‍රහාර මාලාව හේතුවෙන් බව වාර්තා වේ.














