ඊශ්‍රායල සහ අමෙරිකානු හමුදා එක්ව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුද ගිනි දැල් තවදුරටත් ව්‍යාප්ත වී තිබේ. මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියාවේ ‘කොස්පි’ (KOSPI) දර්ශකය අද (බදාදා) පෙරවරුවේ 10% ඉක්මවූ දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර, එය 2008 වසරෙන් පසු වාර්තා වූ දරුණුතම දෛනික පසුබෑම ලෙස සැලකේ.
ඉරානය වෙත එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපය පුරා ප්‍රතිප්‍රහාර එල්ල වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. තම බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්ම මැදපෙරදිග තෙල් ආනයනය මත යැපෙන දකුණු කොරියාව වැනි රටවලට මෙය සෘජු පහරක් වී තිබේ. කොරියානු ‘වොන්’ මුදල් ඒකකය ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසර 17කට පසු අවම අගයට පත්ව ඇත.
කොටස් වෙළෙඳපොළේ සිදුවූ මෙම දැවැන්ත අලෙවිය හේතුවෙන් ගතවූ දින කිහිපය තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 430කට (වොන් ට්‍රිලියන 634ක්) අධික වටිනාකමක් වෙළෙඳපොළෙන් පිසදා හැරී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා 2024 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ‘සර්කිට් බ්‍රේකර්’ (Circuit Breakers) ක්‍රියාත්මක කරමින් වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන්ට සිදුවිය.
කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ වර්ධනයක් සමඟ ලොව ඉහළම වෙළෙඳපොළක්ව පැවති දකුණු කොරියානු වෙළෙඳපොළෙන් විදේශීය ආයෝජකයින් සීග්‍රයෙන් ඉවත් වීම මෙම කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත. තෙල් මිල ඉහළ යාම සහ විදේශ විනිමය අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් තම අවදානම අවම කර ගැනීමට පෙළඹී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














