අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය හුදෙක් දෙරට අතර ගැටුමක් නොව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් ගෝලීය බලවතුන් ලෙස නැගී සිටීම වැළැක්වීමේ අමෙරිකානු උපක්‍රමයක් බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඉන්දීය විශේෂ නියෝජිත අබ්දුල් මජීඩ් හකීම් ඉලාහි පවසයි.
ANI පුවත් සේවය සමඟ අද (මාර්තු 04) පැවැති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ලෝකයේ සිය ආධිපත්‍යය තනිවම රඳවා ගැනීමට අමෙරිකාව උත්සාහ කරන බවයි. ඔහුගේ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු මෙසේය:
නුදුරු අනාගතයේදී ලෝකයේ බලවත්ම ජාතීන් වනුයේ ඉන්දියාව, චීනය, රුසියාව සහ අමෙරිකාවයි. නමුත් අමෙරිකාව කිසිදු හවුල්කරුවෙකුට කැමති නැති අතර ඉන්දියාව හෝ චීනය තමන් හා සමාන බලවතුන් ලෙස නැගී සිටිනු දැකීමට ඔවුන්ට අවශ්‍ය නැත. මේ නිසා ලෝක බලතුලනය වෙනස් වීම වැළැක්වීමට සහ සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට අමෙරිකාව මෙවැනි යුද්ධ අවුළුවාලන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














