මැදපෙරදිග පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් වුවහොත්, ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් තුනම පකිස්ථානයට එරෙහිව එක්වනු ඇතැයි පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් (Khawaja Asif) පවසයි. මෙමගින් පකිස්ථානය “යැපෙන රාජ්‍යයක්” (Vassal State) බවට පත්වීමේ අවදානමක් ඇති බවට ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දීර්ඝ සටහනක් තබමින් අනතුරු අඟවා තිබේ.
ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙම යුද්ධය “සොයොන්වාදී” (Zionist) න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නක් බවත්, එහි අරමුණ ඊශ්‍රායලයේ බලපෑම පකිස්ථාන දේශ සීමාව දක්වා ව්‍යාප්ත කිරීම බවත් ඔහු චෝදනා කරයි. ඉරානය සාමකාමී එකඟතාවන්ට සූදානම්ව සිටියදී පවා ඔවුන් මත යුද්ධයක් පටවා ඇත්තේ පකිස්ථානය සතුරන්ගෙන් වට කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස බව ඔහු පවසයි.
විශේෂයෙන්ම, ඉරානයේ පාලනය වෙනස් වුවහොත් පකිස්ථානයේ අසල්වැසි රටවල් තුනම (ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්ථානය) පකිස්ථානයට එරෙහි ඒකාබද්ධ න්‍යාය පත්‍රයකට යොමුවනු ඇති බවත්, එමගින් පකිස්ථාන දේශසීමා අස්ථාවර කර රට ආරක්ෂක අතින් දැඩි අර්බුදයකට ඇද දැමිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. මෙම “සදාකාලික සතුරන්ගේ” කුමන්ත්‍රණය පිළිබඳව පකිස්ථාන වැසියන් මිලියන 250ම අවධානයෙන් සිටිය යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.














