ගාල්ල වරායට සැතපුම් 40ක් පමණ ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී ඉරාන නෞකාවක් අනතුරකට ලක්ව ඇති බව අද (04) පෙරවරුවේ වාර්තා විය. මෙම නෞකාවේ සිටින පිරිස මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රා මේ වන විටත් අදාළ ස්ථානය බලා ගමන් කරමින් සිටින බව වාර්තා වේ. වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ඉරානය ආශ්‍රිතව පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මෙම අනතුර සිදුවීම විශේෂත්වයකි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් පවතින බවයි. ඉරානය සහ අමෙරිකානු-ඉශ්‍රායල හමුදා අතර ගැටුම් හේතුවෙන් කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක, මෙම නෞකාව අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.
නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වූ පසු අනතුරට පත් පිරිස සහ නෞකාවේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු අපේක්ෂා කෙරේ. කලාපීය ආරක්ෂාව සහ නාවික ගමන් මාර්ගයන්හි ස්ථාවරත්වය පිළිබඳව ලෝක අවධානය යොමුව ඇති මොහොතක ශ්‍රී ලංකාව මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා ක්ෂණිකව මැදිහත් වී තිබේ.














